top of page
Writer's pictureViduravi Athulathmudali

බයිලා කියා පුදදෙමු අප ස්වෛරි සිරිලක!

Updated: Nov 30, 2022

“හිතන්ට නිදහස, ලියන්ට කියන්ට නිදහස

බනින්ට නිදහස ඇති රට, මේ උත්තම රට”


තත්කාලය

දේශපාලනය කියන වචනේ කනට ඇසුනහම ඔයා ට මොනවද මතක් වෙන්නේ? දියවන්නාවේ අපේ මන්ත්‍රීවරු ගුටිබැට හුවමාරු කර ගන්නා ආකාරය, ඔවුන්ගේ හරයක්, තර්කයක් නැති ප්‍රකාශ, ජනාධිපති, ඇමතිවරුන් ගේ රුව සහිත මුහුණුපොතේ සැරිසරන Memes ඔයාට මතක් වෙනවා නේද? වෙනත් විදියහකට කියනවානම් ලංකාවේ දේශපාලනය හැමෝටම, විශේෂයෙන් තරුණ පිරිසට විහිළුවක් වෙලා ඉවරයි. ජංගම දුරකථනය, මුහුණුපොත, සමාජ ජාලා වෙබ් අඩවි තුල දේශපාලකයින් දෛනිකව හාස්‍ය ට, සමච්චලයට ලක් වෙන බව අපි ඔක්කොම දන්නා කාරණයක්. ලංකාවේ තරුණ පිරිස මෙම හාස්‍ය දනවන ක්‍රියාවලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපහාසයක් ද? උපහාසයක් ද? නැතිනම් විහිළුවකට මුවා කරගත් හුදු කළකිරිමක් හා අප්‍රසන්න බවක් ද?


ඔනෑම රටකට ආවේණික වූ දේශපාලන සංස්කෘතියක් පවතිනවා. යම් රාජ්‍යක පුරවැසියන් තුළ පවතින්නා වූ ප්‍රත්‍යක්ෂ මූලික විශ්වාස, ප්‍රකාශිත සංකේත හා දේශපාලන ක්‍රියාදාමය තුළ පවතින්නා වූ සාරධර්ම පදනම් කරගෙන දේශපාලන සංස්කෘතියක් රදා පවතිනවා.


අපේ වැඩිහිටි පරම්පරාව සතුව ශක්තිමත් දේශපාලන සංස්කෘතියක් පැවතුනාද? නෑ! 1900 ගණන් වල හන්දියේ තේ කඩේ දාම් අතක් අදින ගමන් මැතිණියට ඩී. එස් ට කියලා රණ්ඩු වුණේ ශක්තිමත් දේශපාලන සංස්කෘතියක් තිබූ නිසා නෙමෙයි. එහම වුණේ හුදෙක් ආකර්ශණයට සහ ඔවුන්ගේ අවබෝධතා මට්ටම අනුවයි. එහෙම ගොඩනැගුණු පක්ෂග්‍රාහි භාවය කාලයත් සමග ඊලග පරම්පරාවට දායාද වෙලා, කැපුවත් නිල්, කැපුවත් කොළ කියාගෙන, දක්ෂිණාංශික-වාමාංශික වශයෙන් බෙදුණු රටක බවට අපි පත්වෙලා. දේශපාලන සංස්කෘතිය ඉතාමත් හීන ස්වභාවයකින් යුක්ත රටක් බවට පත්වෙලා. එය එසේ වුවත් වර්තමාන තරුණ පරම්පරාව “දේශපාලනය මට අදාල නැහැ”, “අපි දේශපාලනය ගැන කථානොකර ඉමු” කියන තත්වයට අද පැමිණිලා තියෙනවා.



Photo Courtesy: - AFP

පරමාදර්ශය

සමාජ ජාලා මාධ්‍ය මගින් දේශපාලනය හැල්ලුවට ලක් කිරීමෙන් තරුණයා බලාපොරොත්තු වෙන්නේ හුදු විනෝදය පමණක් වුවත්, එකි නිර්මාණශීලී සරදම තුල තරුණයා දේශපාලනය දෙස බලන වෙනස් ම වූ චින්තනය ගැබ්ව තියෙනවා. එහිදි වැඩිහිටියන්ගේ චින්තනයන් ට වඩා වෙනස්ම වූ චින්තනයකින් තරුණයා දේශපාලනය දෙස බලන ආකාරයත් තරුණයා තුල පවතින තීක්ෂණ බව, විචක්ෂනශීලී බව, විශ්ලේෂණාත්මක හැකියාවන් හා උපහාසාත්මකභාවය ඒ තුළින් නිරුපනය වේ. මේ නිසා සමාජ ජාලා තුල නිර්මාණය වන හාසයෝත්පාදාත්මක posts ඉක්මනින් ජනප්‍රිය වීමත්, වැඩිහිටි පරම්පරා වට වඩා තරුණයාගේ දේශපාලන මතවාදය ඉදිරියෙන් පැවතිමටත් හේතු වෙලා තියනවා.


එහෙනම් ඇයි තවමත් තරුණ පිරිසට ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතිය ශක්තිමත් කරන්න බැරිවෙලා තියෙන්නේ? ඇයි තාමත් හීන දේශපාලන සංස්කෘතියෙන් මිදෙන්නා අපිට බැරි වෙලා තියෙන්නේ? සමාජ මාධ්‍ය මූලික කරගෙන තාක්ෂණික සමාජයක් බිහි වෙලා තිබ්බත් අපිට තවම ක්‍රමය වෙනස් කර ගන්න බැරි වෙලා නේද? උපහාසයක් කරලා සිනාවෙන් නවතින්නෙ නැතුව, උපහාසය තුළින් ක්‍රමය වෙනස් කරන්න මුලපුරන්න බැරිද?


අපි ජීවත් වෙන්නේ දේශපාලන සමාජයක. “දේශපාලනය මට අදාළ නැහැ” කිව්ව පලියට දේශපාලන ජීවියෙක් ලෙස හැසිරීමෙන් ඉවත් වෙන්න බැහැ. “දේශපාලනය මට අදාළ නැහැ” කියන ඒ සමාජගත සිතුවිල්ල නිසාම අපිට වෙනසක් ඇති කරන්න පුළුවන් වුණත් ඊට අවශ්‍ය වාතාවරණය සකස් වෙන්නේ නැහැ.

ඔබත් මමත් දේශපාලන ජීවීන් වෙමු. තාක්ෂණයත් එක්ක අපි දේශපාලන සමාජානුයෝජනය වෙන ආකාරය වෙනස් වෙලා. ඒ නිසයි අපේ චින්තනයන් වෙනස්, ඒ නිසයි අපේ මතවාදය වෙනස්. ඒ නිසයි මේ හීන දේශපාලන සංස්කෘතිය වෙනස් කරන පරම්පරාව අපිම විය යුත්තේ.


ඒ නිසා තාක්ෂණය සහය ඇතිව අපි වෙනසක් ඇති කරමු. ජාතික ප්‍රතිපත්ති මූලික ව ශක්තිමත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න හේතු වෙන නීති සම්පාදනය කිරීමට බලකරමු. අපේ රටේ පාලකයින් කියන කරන දේ ගැන විචාරාත්මක ඇසකින් බලමු. පක්ෂ-පාට මූලිකව දේශපාලඥයා ට ඡන්දය ප්‍රකාශ කිරීම නොව ප්‍ර‍තිපත්ති මත දේශපාලකයින් තෝරා පත්කර ගැනීමට කටයුතු කරමු. පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ විධිමත් දේශපාලනික සමාජානුයෝජනයක් ඇති කිරීමට බල කරමු. සමාජ මාධ්‍ය තුළ සෑම තරුණයෙක්ට ම සම්බන්ධ වීමට හැකි ආකාරයෙන් විද්‍යුත් දේශපාලන සමාජානුයෝජන ක්‍රියාවලියක් ආරම්භ කරමු. මුහුණු පොතේ, Instagram තුල ඒ ඒ ප්‍රකාශයට පත්කෙරන පල කිරීම්, උපහාසාත්මක එවා පමණක් ම නොව සමාජයට වෙනසක් ඇති කිරීමට බලපෑම් කිරීමේ හැකියාව පවතින ආකාරයේ පලකිරීම් සිදු කරමු.




“බයිලා කියා පුදදෙමු අප ස්වෛරි සිරිලක

නිවන් දකිත්වා අපගේ ජන නායක කැල!”

130 views0 comments

Comments


bottom of page